Friday 19th of June 2026

English Tamil
Advertiesment


“සල්ලි ගත්තු මන්ත්‍රී ලැයිස්තු කතා බොරු”


2018-06-08 14857

 

(නිලන්ති මානෙල්)

“පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමෙන් මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් තමා දැනුම්වත් කර ඇතැයි කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ (07) විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.

බැඳුම්කර වාර්තා අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුවේත්  පිටස්තරවත් ප්‍රකාශ වුණු ඇතැම්  කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිළි කිරීමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි.

අසත්‍ය, ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශාල කැලලක් ඇති වී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.

කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කර ‍ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිළිගත් චරිත කීපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නෙමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිළිගත් මාධ්‍යයද ඇතුළුව සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

බැඳුම්කර වාර්තාවලට ඇතුළත් විය යුතු සියලු අදාළ ලිපි ලේඛන සියල්ල මා වෙත කඩිනමින්  ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගසම නිතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.

මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් මා දැනුවත් කර ඇත. ‍එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.

අම්පාරේදී වඳ බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනි ගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කණගාටුවෙන්. දැන් ඇති වී තිබෙන තත්ත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි.

මේ වන විට  සිට සමහරුන් මන්ත්‍රීන් දිවුරුම් පෙත්සම් දීමටත්, සමහර මන්ත්‍රිවරුනට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් රටේ ගොඩ නැගෙනමින් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනත විය යුත්තේ අපගේ හෘද සාක්ෂියට පමණි.

බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලීසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලු පාර්ශ්වවලටත්, මාධ්‍යයටත් මා ආයාචනා කරමි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment